සේවාදායක-අනුග්‍රාහක ආගණනයන්හි මූලික නියමයන්(Explores the basic principles of Client-Server computin)

edited August 2016 in Advanced Level

සේවාදායක පරීඝණකයන් බොහොමයකගෙන් ලැබෙන ඉල්ලීම් සදහා අනුග්‍රහය / සේවා ලබා දීමට ඇති මධ්‍යගත පරිඝණක ජාලකරණ විධික්‍රමයක් මෙමගින් අර්ථ දක්වනු ලැබේ. තවදුරටත් විස්තර කිරීමක් කලොත්, ජාලයක් තුළ විසිරී පවතින සේවාදායක පරිඝණකයන්, ඒවා තුළ ඇති අතුරු මුහුණත් භාවිතයෙන් සේවා ඉල්ලීම් කරණු ලබයි. එසේ ඉල්ලීම් කළ එක් එක් සේවාවන් සදහා, අනුග්‍රහක පරිඝණකය විසින් ඉල්ලීමට අනුරූප වන ලෙස ප්‍රතිචාර දක්වයි. මෙසේ දක්වන ලද ප්‍රතිචාර නැවතත් අතුරු මුහුණත් යොදා ගැනීමෙන්ම සේවාදායක පරිඝණකය මගින් පරිශීලකයා හට දර්ශනය වීමට සළස්වයි.  

            මෙම ජාල ශිල්පය තුළ ඇති විශේෂත්වය වන්නේ; සේවාදායකයාට ඇත්තේ අදාළ සේවාව අනුග්‍රහකයෙන් ඉල්ලීම පමණි. සෙසු සියලුම කටයුතු; අනුග්‍රහක පරිඝණකය තුළ ඇති සම්පත් බෙදාගැනීම හා හුවමාරුව මගින් සේවාදායක ඉල්ලීමට සුදුසු වන අාකාරයකට සකස් කොට ඉදිරිපත් කිරීම, අනුග්‍රහකය මගින් සිදුකර දෙනු ලබයි. සේවා සැපයීම් ක්‍රියාවලියේ වෙනස් කිරීමක් හෝ යාවත්කාලීන කිරීමක් කරන්නේ නම් එය සිදු කිරීමට වන්නෙ අනුග්‍රහකයේ පමණි. සේවාදායකයට ඇත්තේ හුදෙක්, අතරුමුහුණත භාවිතයෙන් සේවා ඉල්ලීම් කිරීම පමණි.

 

සේවාදායකය (Client)-  

            සේවාදායක-අනුග්‍රාහක ශිල්ප ක්‍රමයේ, ඉල්ලීම් කරණු ලබන්නා එසේත් නැත්නම් අවසාන වශයෙන් සේවාව ලබන්නා සේවාදායකය ලෙසින් හදුන්වමු. බොහෝ විට ජාලයක් තුළීන් ප්‍රවේශ විය හැකි වන ලෙසට මෙවැනි සේවාදායකයන් ස්ථානගත වී පවතී. මෙවැනි සේවාදායකයන් ප්‍රධාන ලෙස පහත පරිදි වෙන් කළ හැකිය.

  • විරල සේවාදායක(thin-client); අනුග්‍රහකයෙන් බොහොමයක් සේවා අපේක්ෂා කරයි. බොහෝ දුරට අනුග්‍රහකයෙන් ලැබෙන සේවා බලාපොරොත්තු වන අතරම ප්‍රතිචාර දර්ශනය කිරීමට පමණක් යොදා ගනී.
  • ගැවසි සේවාදායක(thick-client); හාත්පසින්ම විරල සේවාදායකයේ ප්‍රතිවිරුද්ධය වේ. බහුතරයක් සැකසීම් සේවාදායකය තුළම සිදුකිරීමේ හැකියාව ඇත. නමුත් ඇතැම් තොරතුරු පමණක් අනුග්‍රහකයෙන් බලාපොරොත්තු වේ.
  • දෙමුහුම් සේවාදායක(hybrid-client); ඉහත සේවාදායකයන් දෙකෙහි දෙමුහුමක් වේ. අනුග්‍රහකයේ බොහොමයක් ප්‍රතිචාර අපේක්ෂිතව සේවාදායකය තුළම සැකසීම් කර ගනු ලබයි.

 

අනුග්‍රාහකය (Server) –

ප්‍රධාන අනුග්‍රහක වර්ග කීපයකි;

  • වෙබ් අනුග්‍රහකය (web server), තැපැල් අනුග්‍රහකය(mail servers)

            වෙබ් අනුග්‍රහක තුළ ඇතුලත් වන්නේ අප සාමාන්‍යයෙන් හදුන්වන වෙබ් පිටුයි(web pages). එක් එක් වෙබ් පිටු සදහා ඊටම ආවේණික ලිපිනයන් ඇත. වෙබ් බ්‍රවුසරය තුළ අදාල ලිපිනය ඇතුලත් කළ විට බ්‍රවුසරය ලිපිනයට අදාල වෙබ් පිටුව දර්ශනය කර පෙන්වයි. ඊ-තැපැල් (e-mail) කටයුතු වලදී අපි යොදාගනු ලබන්නේ තැපැල් අනුග්‍රහකයන්ය. මෙම අනුග්‍රහක තුළ තැපැල් කටයුතු වලට අදාල ක්‍රමයයන්(protocols ; ex: SMTP) ඇත. ඊ-තැපැල් කටයුතු වලදී මෙම අනුග්‍රහක අතරමැදි ලෙස කටයුතු කරයි.

 

  • නියෝජන අනුග්‍රහකය (proxy server)

           Proxy Server Example එක් එක් සේවාදායක පරිඝණක(clients) වලින් ලැබෙන ඉල්ලීම් වලට අදාලව , සම්පත්දායක කළ හැකි අනුග්‍රහක (server) පරිඝණක සොයාදීමේ අතරමැදිකරැවා ලෙස ක්‍රියා කරනු ලබන, පරිඝණක පද්ධතියක් හෝ යෙදවුමක් වේ. නියෝජිත සේවාදායක පරිඝණකයක් තුළින් ඉල්ලීමක් කරනු ලැබූ විටකදී, ඉල්ලීම ඇගයීමක් (evaluate) තුළින් ඉල්ලීමේ සංකීර්ණත්වය අවම කිරීමට නියෝජිත සේවාදායක පරිඝණකයට පුලුවන. අන්තර්ජාල සේවා පෙරීමකට ලක්කිරීම(web filtering), ආරක්ෂිත ජාල සම්බන්ධයක් පවත්වාගැනීම, වේගවත් සම්බන්ධතාවක් පවත්වා ගැනීම මෙහි ඇති ප්‍රධාන වාසි වේ.

 

  • යෙදුම් අනුග්‍රහකය (application server)

            යෙදුම් අනුග්‍රහකය යනු, මෘදුකාංග යෙදවුම් නිර්මාණය (creating software applications) සදහා හා ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුග්‍රහක පසුබිම (server environment) යන කාර්යන් දෙක සදහාම පහසුකම සළසන්නා වූ පද්ධතියකි.

 

  • විෂය නාම සේවා අනුග්‍රහකය (DNS server)

 

DNS Server Tree

DNS Tree

            අන්තර්ජාලය තුළ විෂය නාමයන් IP ලිපින බවට පරිවර්තනය කරන සේවාවක් ලෙස මෙය හැදින්විය හැකිය. සාමාන්‍යයෙන් අන්තර්ජාලය තුළ විෂය නාමයන් පවතින්නේ අකුරු ආකාරයටය, මක්නිසාද යත් එවිට ඒවා පහසුවෙන් මතක තබා ගත හැකිය(උදාහරණයක් ලෙස www.example.com ). නමුත් අප දන්නා පරිදි අන්තර්ජාලය සැබෑ ලෙසම ගොඩනැගී ඇත්තේ IP ලිපින පදනම්වය. තවදුරටත් පැහැදිළි කරගතහොත්, ඔබ වෙබ් බ්‍රව්සරයක් තුළ ඇතුළත් කරනු ලබන ඕනෑම විෂය නාමයක් සදහාම ඊට අනුරූප වූ ලිපිනයක් ඇත(උදා: www.example.com විෂයනාමයට අනුරූප ලිපිනය 198.105.232.4). එමනිසා සෑම විෂය නාම සේවා ඇතුලත් කිරීමකදීම මෙම සේවාව විෂය නාමය ඊට අදාළ ලිපිනයට පරිවර්තනය කරයි.

            විෂය නාම සේවා අනුග්‍රහකය ඊටම අදාළ වූ ජාලයකි. කිසියම් වි.නා.අ දෙන ලද විෂය නාමයට අනුරූපව පරිවර්තනයක් නොදන්නේ නම්, නිවැරදි ලිපිනය ලැබෙන තෙක්ම එය තවත් වි.නා.අ සේවාව ලබා ගනී.

 

  • ගතික සංග්‍රාහක වින්‍යාස නියමාවලි අනුග්‍රහකය (DHCP server)

            කිසියම් ජාලයක් තුළ, ජාලය හා සම්බන්ධව ඇති මෙවලම් සදහා ගතික IP ලිපින ලබා දීමේ සේවාවයි. මෙය ගතික ලිපින ලබා දීමේ ක්‍රියාවලියක් නිසාවෙන්, කිසියම් මෙවලමක් සදහා එම මෙවලම ජාලය හා සම්බන්ධ වෙන සෑම වාරයක් පාසාම විවිධ(එකිනෙකට වෙනස්) IP ලිපින ලැබේ. ඇතැම් විටම ජාලය හා සම්බන්ධව තිබියදීම වුවද ලිපිනය වෙනස් විය හැකිය. එසේම මෙම අනුග්‍රහකය ගතික හා ස්ථිතික ලිපිනයන් එකිනෙක මුහු කිරීමටද යොදා ගනී.

            නවක මෙවලමක් ජාලය හා සම්බන්ධ කිරීමේදී, නවක මෙවලම සදහා ලිපින ලබා දීමට වෙනමම වෙහෙසක් දැරීමට අවශ්‍ය නොවන නිසා (මෙම අනුග්‍රහකය ස්වයංක්‍රීයව එය ක්‍රියාවට නංවයි.) ජාලකරණයේදී වැඩි වෙහෙසක් දැරීම නුවුමනාය. මේ හේතුවෙන් අන්තර්ජාල සේවා සපයන්නන් බොහොමයක් තම සේවාදායකයන් (dial-up users)සදහා ලිපින ලබා දීමට මෙම අනුග්‍රහකය යොදා ගනී.

Comments

Sign In or Register to comment.